"ලංවිම සංවර්ධන ක්‍රියාවලියේ තාරුණ්‍යයේ හඬ"

Friday 30 October 2009

ලංකා විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන පුහුණු සේවකයින් විසින් යොමු කළ ලිපියකි මේ෴

වසර 1994 සිට ශ්‍රමබල සැපයුම්කරුවන් හරහා වරින් වර ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි සේවාවන් සඳහාත්, කාර්යාලීය හා අනෙකුත් සේවාවන් සඳහාත් බඳවා ගන්නා ලද අප සෘජුවම මණ්ඩලයේම සේවාවන් වල වසර 10, 09, 06, 05, 03 දක්වා වූ කාල පරිච්ඡේදයන් පසු කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සහෝදර සේවකයක් සමග සේවයේ යෙදෙමින් විදුලි සේවාවන් වල මනා පුහුණුවක් ලද මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඕනෑම මොහොතක තම නිපුණතාවය ලබා දීමට කැප වී ක්‍රියා කරන ‍සේවක ‍කොටසකි.

එසේම ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් අපට ලබා ගත හැකි උපරිමය වූ අ.පො.ස.(සා.පෙළ) විභාගය සහ අ.පො.ස.(උ.පෙළ) හදාරා විශ්ව විද්‍යාල වලට යාමට වරම් නොලද අප රජයේ කාර්මික විද්‍යාල වලින් සහ තාක්ෂණික ආයතන වලින් පාඨමාලා හදාරා එයින් ලබාගත් දැනුම ද සමග විදුලි බල මණ්ඩලයට එකතු වීමෙන් වසර ගණනාවක් සේවයේ යෙදෙමින් එහි දී ලබා ගත් මනා දැනුම සහිත 3000ක් පමණ පුහුණු සේවක පිරිසකි. අද වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සේවාවන් වල අධි සැර/වැඩි සැර/නඩත්තු/බිඳවැටුම්/පුනරුත්ථාපන සහ කැනීම් කටයුතු සඳහා ද, මණ්ඩලයට ආදායම එකතු කරමින් අයපත්කරු ලෙසිනුත්, කාර්යාලීය පරිගණක/ගිණුම් කටයුතු/පාරිභෝගික සේවාවල සිට රියදුරු දක්වා ද සේවයේ යෙදී සිටිමු.

මෙම කාලයේ දී අප සේවයේ යෙදී සිටිය දී සිදු වූ විවිධ අනතුරු වලින් පිළිස්සී, අතපය කැඩී, සුෂුම්නාවට හානි වී ඔත්පල වූ පිරිස ද ඉතා අසරණව කිසිදු දීමනාවක් ද නොමැතිව ‍ජීවත් වේ. අප සේවයේ යෙදවූ අතරමැදි සමාගම් පවා අපට සිදු වූයේ කුමක් දැයි සොයා බැලීමට පවා උනන්දු වූයේ නැත. ලංකාව පුරා සිටින ශ්‍රමබල විදුලි සේව‍කයෝ මෙවැනි තත්ත්වයකට මුහුණ දෙමින් සාමාන්‍ය පැය අටේ සේවාවට වඩා සේවයේ යෙදෙමින් වසර ගණනාවක් සේවයේ යෙදී සිටින අයවලුන් වන අතර, ලංවිම කාර්මික විද්‍යාලවල පුහුණු පාඨමාලා ද හදාරා අද වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ සිටින පුහුණු ‍විදුලි සේවකයන් වන්නෙමු.

අපහට නව රැකියාවක් සොයා ගැනීමට ද අසීරුය. ලංවිමටම සේවය කර අපගේ වයස් කාල පරිච්ඡේදය නව රැකියාවක් ලබා දෙන කාලය පසු කරගොස් ඇත. එසේම ස්ථිර වූ රැකියාවක් නොමැති කමින් අපගේ අනාගත අභිවෘද්ධිය උදෙසා යමක් සිතීමට පවා උගහටය. තරුණකම අපෙන් ඈත්වී යන්නා සේම රැකියාව වශයෙන් කරනු ලබන මෙම රැකියාවද අහිමි වීම අපගේ අනාගතය තවත් පිටුපසට තල්ලු කරනු ලැබ ඇත. අප කරනු ලබන රැකියාවට කැප වී සතුටින් අවශ්‍ය සේවාවන් මණ්ඩලයට ලබා දෙමින් ලබන වැටුපෙන් තවත් යැපෙන්නෝ බොහෝ දෙනෙක් පෝෂණය කරමින් සිටිති.

ස්ථිර රැකියාවක් නොමැති වයෝවෘද්ධ දෙමාපියන්ගේ යුතුකමද, පවුල වෙනුවෙන් ඉටු කිරීමට අප මත පැවරී ඇති වගකීමකි. පාසැල් යන නංගිලාටද, මල්ලිලාටද රැකියාවක් නොමැතිව සිටින සොහොයුර සොහොයුරියන්ටද අප ලබන වේතනයෙන් යැපීමට සිදු වී ඇත. කෙසේ නමුත් වසර ගණනාවක සිට මෙම කරන රැකියාවට අපි හිස නමා ගෞරවය කරන්නෙමු. එසේම අපගේ මව්බිමේ සංවර්ධනය උදෙසා විදුලිබල මණ්ඩලය ගන්නා ලබන අති භාරදූර සේවයට අපිද දායක වී සිටිති. අනතුරු අතිකාල කෙනෙහිලිකම් පසෙක ලා මණ්ඩලයේ ස්ථිර සේවකයන් සමග උරෙන් උර ගැටී අපි ‍සේවය ලබා දෙමින් සිටින්නෙමු.

නවලොව නව රැකියා ක්‍රමවේදය යැයි කියා ගන්නා ක්‍රමය අනුව වරින් වර හිමි වී හෝ අහිමි වී යන පදනම මත රැකියාව ලැබුණත්, අද වන විට අපගේ රැකියා වල අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් වසර ගණනාවක් (මොන ක්‍රමවේදය අනුව හෝ) කරමින් සිටි රැකියාව අහිමි වෙතැයි යන බියෙන් පසු වෙමින් සිටි ස්ථිර රැකියාවක් නොමැතිව අප තාරුණ්‍යයේ හරි අඩකටත් වඩා කාල වකවානුවක් සතුටින් මෙම රැකියාවේ නිරත වෙමින් සිටියත් අද එම රැකියාවද අහිමි වී යන තත්ත්වයක් උදා වී ඇත.

අද අපට සිදු වී තිබෙන්නේ මෙම නව රැකියා ක්‍රමවේදය අනුව, සමාගම්යැයි කියාගන්නා සමාගම් නොවන අතරමැදි හවුල්කරුවන්ට දෙනු ලබන මුදලින් සුළු වේතනයක් පමණක් අපට ලබා දී රැකියාව ලබා දීමයි. ලංකාවේ මූල්‍ය සම්පත් ගැවසෙන ආයතන වලට මෙම සේවා සැපයුම් ආයතනයැයි කියාගන්නා අතරමැදියන් ඇස ගසාගෙන මෙම ක්‍රමවේදයෙන් ඔවුන‍්ගේ බැංකු ගිණුම් තරකර ගනිමින් සිටී. බොහෝ අතරමැදියන් වී සිටින්නේ දේශපාලකයින්ගේ නෑදෑයින් සහ මිතුරු කොන්ත්‍රාත් ව්‍යාපාරිකයන්ය. මෙම තත්ත්වය තුළ මූල්‍ය සම්පත් ඇති, ණය බරින් විශාල පාඩු ලබන අපගේ ආයතනය වැනි ආයතන වල මුදල් කෝටි ගණනින් අතරමැදියන්ගේ බැංකු ගිණුම් පිරී ඉතිරී යෑම පමණි.

ජල විදුලියෙන් පෝෂණය වෙමින්, දැවැන්ත විදුලි බලාගාර නඩත්තු කර ගනිමින් අති විශාල සම්පත් ප්‍රමාණයකින් සියලු ජන කොට්ඨාසයන්ට එහි ප්‍රතිලාභ ලබා දෙමින් ලංකා විදුලිබල මණ්ඩලය වැනි දැවැන්ත අර්ධ රා‍ජ්‍ය ආයතනයක මූල්‍ය සම්පත් කොටසක් අප හරහා සුළු අතරමැදියන් කීපදෙනෙකුට ප්‍රතිලාභ වශයෙන් ගෙවීම ඉතාමත්ම අසාධාරණය. මෙම ක්‍රමය අහෝසි වී අපගේ රැකියාව ලංකා විදුලිබල මණ්ඩලයේ පරිපාලනය හරහා ලබා ගතහොත් ඉතිරිවන මුදල ද අති විශාල බව කිව යුතුය.

ලංවිම තුළ අවුරුදු ගණනාවක සිටම රැකියා කර ඉවත් වන්නට සිදු වුවහොත් අපගේ වයස් කාලපරිච්ඡේදය ඉක්මවා ගොස් නිසා නැවත රැකියාවක් ‍‍‍සොයාගැනීමට අපහසු බව නිසාත් අප ඕනෑම පදනමක සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරගෙන යෑමට එකඟවෙන නිසාත් එසේ හෝ සේවයේ පිහිටුවීම ඉතා සාධාරණය.

ර‍ජයේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙල සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදුවන කාර්යභාරය අති විශාලය. අද වන විට 3000ක් පමණ වන තරුණ අප ලංවිම තුළින් මනා දැනුමක් ලබා ලංවිම පුහුණු සේවකයන්ගේ රැකියාව කර ගනිමින් සිටින අයවලුන් වන අතර, නැවත අපට නව රැකියාවක් ලබා දීමට රජයට ගැටළුවක් නොවන බව කිව යුතුය. අතිගරු විධායක ජනාධිපතිතුමනි, ගරු විදුලිබල ඇමතිතුමනි, ගරු සාමාන්‍යාධිකාරිතුමියනි, ලංවිම සෙසු නිලධාරිවරුනි, ලංවිම ‍සේවකයිනි, වෘත්තීය සමිති නායකයින් සහ ලාංකීය කම්කරු නායකයිනි, මෙම රැකියා ක්‍රමවේදය තුළ අප නැවත විරැකියා පෝලිම් තුළ ගාල් නොවන ආකාරයේ විසඳුමක් මේ සඳහා ලබා දෙන්නැයි ඔබතුමන්ලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

- රටේ ජාතික සංවර්ධනයට දායක වන ලංවිම ශ්‍රමබල විදුලි සේවක සංවිධානය -

සංජීව 077 6578846
සුරංග 071 8165155
චන්දන 071 6003355
ප්‍රසාද් 071 8257737
අරුණ 071 8139639

0 ප්‍රතිචාර: