ප්ලාස්ටික් බඳුන් වලට අපව මරණයට පත් කළ හැකියි෴

Thursday 11 June 2009

ප්ලාස්ටික් අද වන විට අප කාට‍ත් නැතිවම බැරි දෙයක් බවට පත් වෙලා. ඛණිජ තෙල් හෝ ස්වභාවික වායූන් යොදාගෙන නිපදවන ප්ලාස්ටික් සැදී ඇත්තේ හයිඩ්‍රජන් සහ කාබන් අණු එක දිගට දාමයක් ආකාරයට එක් වීමෙන් ඇති වන දිගු දාම වලින්. මේවා Hydrocarbon ලෙස හඳුන්වනවා. වර්ෂ 1800 දී පමණ මුල් වරට ලෝකයා ප්ලාස්ටික් නිපදවා ගන්නා ආකාරය දැන ගත්තා. අද ලෝකයේ ඛණිජ සම්පත් වලින් 4.5% ක් ම යොදා ගන්නේ ප්ලාස්ටික් නිෂ්පාදනයට‍යි. මේ සම්බන්ධයෙන් කර ඇති විවිධ පරීක්ෂණ නිසා අද වන විට විවිධ ආකාරයේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් ප්ලාස්ටික් වර්ග දහස් ගණනක් සොයාගෙන තිබෙනවා.

අද ලෝකයේ කවර තරාතිරමක පුද්ගලයෙකු හෝ වේවා දවසේ කවර මොහොතේ දී හෝ ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතයට ගන්නවා. මේ නිසා අද සමාජයට ප්ලාස්ටික් මගින් මානුෂික, සමාජයීය, කාර්මික, පාරිසරික හා‍ සෞඛ්‍යමය බලපෑම් අති විශාල ලෙස ඇති කර තිබෙනවා. ප්ලාස්ටික් මගින් සිදු වන සෞඛ්‍යමය බලපෑම් ගැන මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා.

අප භාවිතා කරන ප්ලාස්ටික් වර්ග ඒවා නිපදවීමට ගන්නා අමුද්‍රව්‍ය අනුව වර්ග කිහිපයකට බෙදෙනවා. මේවා පෙනුම, පාට, බර ආදී බොහෝ ලක්ෂණ වලින් සමාන වුවත් ඒවාගේ ගති ලක්ෂණයන් නම් කිසිසේත්ම සමාන වන්නේ නැහැ. පාරිභෝගිකයන්ට මේවා අඳුනා ගැනීම සඳහා පොදු සම්මතයක් ඇමෙරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය මගින් හඳුන්වා දී ති‍බෙනවා. එනම් සෑම ප්ලාස්ටික් ඇසුරුමකම ඒවා නිපදවා ඇත්තේ කුමන ප්ලාස්ටික් වර්ගයෙන් ද, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද යන්න ඇඟවෙන පරිද්දෙන් ත්‍රිකෝණාකාර ලාංජනයක් තුළ අදාළ අංකය සඳහන් කළ යුතුව තිබෙනවා. ප්ලාස්ටික් භාජන වල අඩියේ මෙවැනි සළකුණු ඔබ දැක ඇතුවාට කිසිම සැකයක් නැහැ.

ප්ලාස්ටික් නිපදවීමට ගන්නා අමුද්‍රව්‍ය වල තත්ත්වය මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය අනුවත් මේවා තත්ත්වයෙන් උසස් හෝ පහත් වෙන්න පුළුවන්. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය වල රසායන ද්‍රව්‍ය ඉතා තදින් බැඳී පවතින අතර ඒවා තද උණුසුමට, සීතලට, ආම්ලික හෝ භාෂ්මික තත්ත්වයන්ට, විවිධ තෙල් වර්ග වලට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්තයි. මෙවැනි උසස් තත්ත්වයේ ප්ලාස්ටික් වර්ග 'ආහාර ඇසිරීමට උචිත' හෙවත් Food Grade Plastic ලෙස හඳුන්වනවා. ලෝක සම්මතයට අනුව මේවා 'වීදුරුව සහ ගෑරුප්පුව' සළකුණින් දක්වා තිබෙනවා. අප ආහාර වර්ග ඇසිරීමට භාජන මිල දී ගැනීමේ දී මෙන්ම ආහාර ද්‍රව්‍ය අඩංගු භාජන ගැනීමේ දී ත්, කෑම පෙට්ටි, වතුර‍ ගෙනයා‍මට ගන්නා ‍බෝතල්, පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු ආදිය මිල දී ගැනීමේ දී ත් මේ ගැන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක්. මන්ද යත් ඔබ මිල දී ගත යුත්තේ එවැනි ප්ලාස්ටික් වලින් තැනූ ඒවා පමණක්ම නිසායි.


ප්ලාස්ටික් වර්ග

1. පෙට් (PET) - Poly Ethilene Terephthalate
මේවා ඊතල තුනක් මැද අංක 1 සළකුණින් දක්වා තිබෙනවා.මේවා සකස් කර ඇත්තේ එක් වරක් පමණක් භාවිතා කර ඉවත දැමීම සඳහායි. වෙළෙඳපොලේ බහුලවම දකින්න තියෙන වතුර බෝතල්, බීම බෝතල්, කෑම පිසින තෙල් වර්ග අසුරා තබන බෝතල් මේ වර්ගය‍ට අයත් වෙනවා. මේවා අවර්ණ හෝ ලා නිල් වැනි ලා වර්ණයන්ගෙන් යුක්තයි. මේවායේ බ‍ඳෙහි කිසිම පෑස්සුම් සළකුණක් නැති අතර අඩියෙහි පමණක් ඇතුළට එබී ගිය තිතක් වැනි සළකුණක් දක්නට ලැබෙනවා. මේවා නිතර නිතර පාවිච්චි කිරීමේ දී මෙය සාදා ඇති දිගු දාමයන්ගෙන් සංයුක්ත අණු කැඩී ගැලවී එන්නට පුළුවන්. මේ බෝතල් උණු වතුරින් සේදීමේ දී හෝ සැර සබන් වලින් සේදීමේ දී ද මෙලෙස අණු ගැලවී එනවා. මේ කුඩා ප්ලාස්ටික් අණු හඳුන්වන්නේ Plastizicers හෙවත් Toxins (විෂ) ලෙසයි.

2. අධික ඝණකමින් යුත් පොලිතීන් (HDPE) - High Density Poly Ethilene
මේ වර්ගය ඊතල තුනක් මැද අංක 2 ලෙස‍ දක්වනවා. මේවා නිෂ්පාදනය කරන ආකාරය අනුව බඳෙහි අතට අසුවන ආකාරයේ සමමිතික දාරයක් දක්නට ලැබෙනවා. මේ ප්ලාස්ටික් වර්ගය භාවිතා කරන්නේ විෂබීජ නාශක දියර, පිරිසිදුකාරක දියර, පළතුරු යුෂ, කිරි වැනි දේ ඇසුරුම් කිරීමටයි.

3. පී.වී.සී. (PVC) - Poly Vinyl Chloride
මේවා අංක 3 ලාංජනයෙන් දක්වා තිබෙනවා. පී.වී.සී. නමින්ම හඳුන්වන බට වර්ග, බෝතල්, පෙට්ටි හා විනාකිරි වැනි දේ ඇසුරුම් කරන භාජනත් මෙයින් නිපදවනවා. මේවා බොහෝ දුරට පෙනුමින් HDPE වලට සමානයි.

4. අඩු ඝණකමින් යුත් පොලිතීන් (LDPE) - Low Density Poly Ethilene
මේවා අංක 4 ලකුණින් දැක්විය යුතුයි. ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග් සහ කෑම ඔතන ෂීට් සාදා ඇත්තේ මේවායින්.

5. පොලි ප්‍රොපලීන් - Poly Propylene
යෝගට් කෝප්ප, බීම බට, බෝතල් මූඩි ආදිය සකස් කර ඇත්තේ මේ ප්ලාස්ටික් වර්ගයෙන්. ඊතල තුනක් මැද 5 අංකයෙන් මේවායේ සළකුණ දැක්වෙනවා.

6. පොලිස්ටරීන් - Polystyrene
මේ ප්ලාස්ටික් වලින් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, යෝගට් කෝප්ප ආදිය නිපදවයි. මේවා අංක 6 යටතේ ගොණු කර තිබෙනවා.

7. විශේෂ අවශ්‍යතා අනුව නිපදවන ප්ලාස්ටික්
මීට අමතරව විශේෂ අවශ්‍යතා සඳහා ප්ලාස්ටික් වර්ග කිහිපයක් එක‍ට අලවා නිපදවන ‍ටෙට්‍රාපැක් (Tetrapack), මෙටලයිස්ඩ් (Metalized), පොලිඑතිලීන්(Poly Ethilene) හා විවිධ රසායනික සංයෝගයන්ගෙන් සාදන ප්ලාස්ටික් වර්ග අංක 7-19 යටතේ දැක්වේ.



මයික්‍රොවේව් උඳුන් සඳහා භාවිතා කිරීමට උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි පරිදි නිපදවා ඇති 'මයික්‍රොවේව් කළ හැක' ලෙස සඳහන් භාජන පමණක් ම යොදාගත යුතුයි. මන්ද යත් අප භාවිතා කරන භාජනය Food Grade Plastic වුවත් උණුසුමට ඔරොත්තු නොදේ නම් එවිටත් ආහාර වලට විෂ (Toxins) එක් වීමේ විශාල අවදානමක් පවතිනවා. තෙල් සහිත ආහාර ද්‍රව්‍ය උණුසුම්ව ප්ලාස්ටික් භාජන වලට දැමීම මෙන්ම විනාකිරි, සෝස් හෝ ලුණු සහිත ආහාර උණුසුම්ව දැමීමත් එක සේ හානිකර වන්නට පුළුවන්.

ප්ලාස්ටික් වලින් ගැලවී ආහාර වලට එකතු විය හැකි විෂ වර්ග කිහිපයක් පර්යේෂකයින් විසින් සොයාගෙන තිබෙනවා. ඩයොක්සීන්ස් (Dioxins), ඇඩ්පේට්ස් (Adipates), පැතලේට්ස් (Phthalates), බිස්පීනෝල් ඒ (Bisphenol-A) එයින් සමහරක්. මෙවැනි විෂකාරක දිගින් දිගටම ශරීරගත වී ශරීර‍යේ තැන්පත් වීම නිසා අකල් මරණ, ශ්වසන පද්ධතියේ රෝග, පිළිකා, නොමේරූ දරු උපත්, ප්‍රජනක පද්ධතියේ විකෘති තත්ත්වයන්, හෘද රෝග හා හෝමෝන වල ක්‍රියාකාරීත්වය වෙනස් වීමෙන් ඇති වන විවිධ රෝග ඇති වන්නට පුළුවන්.

මෙහි දී අපට කළ හැකි වන්නේ හැකි තරම් අපගේ සෞඛ්‍යයට ගැලපෙන පරිදි භාජන තෝරා ‍ගෙන පාවිච්චි කිරීමයි. ප්ලාස්ටික් වර්ග නිපදවන සමාගම් වැඩි ලාභ අපේක්ෂාවෙන් බාල අමුද්‍රව්‍ය යොදා නියමිත සළකුණු සඳහන් නොකර ඇසුරුම් නිපදවීම තමයි අද වැඩි වශයෙන්ම සිදු වෙන‍්නේ. මේ නිසා මෙසේ විෂ ද්‍රව්‍ය ශරීරගත වී රෝගාතුර වන්නන් සීඝ‍්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් තියනවා. මේ සම්බන්ධයෙන් රජය කිසිදු සැළකිල්ලක් නොදැක්වීම අවාසනාවන්ත කරුණක්. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පරිසර අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් බලපෑම් කළ යුතුව තිබෙනවා.

ප්ලාස්ටික් ඇසුරුම් වල ආහාර ඇසිරීමේ දී අනිවාර්යයෙන්ම 'වීදුරුව සහ ගෑරුප්පුව' සළකුණ ඇති භාජන පමණක්ම යොදා ගන්න. පාසල් යන ඔබේ දරුවාට සැහැල්ලු බව හෝ නොමිලේම ලැබෙන නිසා PET වර්ගයේ වරක් පාවිච්චි කර ඉවත දැමිය යුතු බෝතල් වලට ජලය ගෙනයන්න දෙන්න එපා. ගෙදරට තීන්ත හෝ වෙනත් රසායන ද්‍රව්‍ය ගෙනා ඇසුරුම් කිසි ‍විටෙක ආහාර ඇසිරීමට යොදා ගන්න එපා. මන්ද යත් තම ආදරණීයයන්ගේ ජීවිත රැක ගැනීමේ වගකීමත් ඔබ සතු නිසා.

4 ප්‍රතිචාර:

Saman said...

ඉතා වැදගත් ලිපියක්
"යුත්මැක්ස්" ස්තූතියි දැනුවත් කිරීමගැන

Saman said...
This comment has been removed by the author.
෴ .:GiniMakara :.෴ said...

ත්‍රිකොණයේ තියන අගය 7 හෝ ඉන් ඉහල ප්ලාස්ටික් බෝතල් නිතර වතුර ගෙනියන්න පාවිච්චි කලාට අනතුරක් නැහැ මම දන්න විදිහට. අවාසනාවට ඒවගේ බෝතල් හොයාගන්න නැහැ. ඉතින් ලේසියට හැමෝම වතුර අරන් යන්නෙ වරක් භාවිත කරල ඉවත දාන්න ඕනෙ බෝතල් වලින්

NUWAN said...

බොහෝමත්ම ස්තුතියි.දෑනුවත් කිරීමට