මූර්ධජ 'ණ' යන්න පිළිබඳ සම්මතයන් - 01

Tuesday 9 June 2009

මෙයට පෙර ඉදිරිපත් කළ ලිපි වලින් සිංහල හෝඩිය ගැනත්, අක්ෂර හා අක්ෂරාණු ගැනත්, රේඵය, යංශය හා දකාරාංශය නිවැරදි ව යෙදෙන ආකාරය ගැනත් කථා කළා. අද සිට අපි කථා කරන්න බ‍ලාපොරොත්තු වෙන්නෙ න ණ ල ළ භේදය සම්බන්ධයෙන් ඇති රීතීන් සහ එම රීතීන්‍ට හසු නො‍වී මේ අකුරු යෙදෙන අවස්ථාවන් ගැනයි. එහි පළමු ලිපිය ලෙස මූර්ධජ 'ණ' යන්න ගැන සොයා බලමු.

ඇතැම් පද වල මූර්ධජ 'ණ' යන්න යෙදිය යුත්තේ ඊට මුලින් හෝ පසුව යෙදෙන අකුරක් නිසාය. එනම් ආණ්ඩුව යන්නෙහි 'ණ්' යනුවෙන් මූර්ධජව යෙදෙන්නේ 'ණ්' යන්න‍ට පසුව 'ඩ' අකුර යෙදෙන නිසාය. දක්ෂිණ යන්නෙහි 'ණ' යන්න මූර්ධජව යෙදෙන්නේ එයට මුලින් 'ෂ' අකුර යෙදෙන නිසාය.

සමහර පද වල 'ණ' යන්න යෙදීමට හේතුව පද සාධන රටාවයි. එනම් ඒ පද වල යෙදෙන ප්‍රත්‍ය වල 'ණ' කාරය ගැබ්ව පැවතීමයි. උදාහරණ ලෙස පවසන්නේ නම්, 'පියාණෝ' යන ගෞරවාර්ථ පදයේ 'ණ' යන්න මූර්ධජව යෙදීමට හේතුව එහි 'ආණ' යන ගෞරවවාචී තද්ධිත ප්‍රත්‍යය යෙදීමයි. 'වැටිණ' යන පදයෙහි 'ණ' යන්න යෙදෙන්නේ එහි 'ඉණ' යන ප්‍රත්‍යය යෙදීමයි.

තවත් සමහර පද වල 'ණ' යන්න යෙදීමට හේතුව නම්, සිංහල වචන කෝෂයේ එන පද වල ප්‍රකෘති වලම මූර්ධජ ණ යන්න ගැබ් වී පැවතීමයි. උදාහරණ දක්වන්නේ නම් ගණිතය, මැණික ආදියෙහි ප්‍රකෘති වලම මූර්ධජ ණ කාරය යෙදී ඇත.

සමහර පද 'දන්තජ න යන්න' හා 'මූර්ධජ ණ යන්න' දෙක වැරදි ලෙස ලිවිය හැකි වුවත් එවිට එයින් ගම්‍ය වන අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. මෙයට උදාහරණ කිහිපයක් නම්

වන (කැළෑව) වණ (තුවාලය)
නුවන (ඇස) නුවණ (ඥානය)
ගන (දැඩි, තද) ගණ (සමූහය)
පහන (ප්‍රදීපය) පහණ (ගල, පාෂාණය)

වර්තමාන සිංහල භාෂාවේ මෙම අකුරු ‍දෙකෙන්ම නැගෙන්නේ එකම හඬක් බැවින් කිසියම් වචනයක යෙදෙන්නේ මොන න යන්න ද යන්න තේරුම් ගැනීම ආධුනිකයෙකුට ඉතාමත් අපහසු කරුණකි. බොහෝ තැන් වල දී නණලළ වැරදි ආකාරයෙන් යොදා තිබෙනු දැකීමෙන් ම මෙය පැහැදිලි වේ. සිංහල ලේඛකයන් අතර කාලාන්තරයක සිට පැවත එන රීති සමුදායක් මගින් මෙය තීරණය වෙයි. නමුත් අවාසනාවකට මේ අකුරු යෙදෙන හැම පදයක් ම මේ රීති වලට හසු නොවෙයි. උදාහරණ ලෙස ගෙන බැලුවොත් 'බණ්ඩක්කා' යන පදයේ 'ණ' යන්න මූර්ධජව යෙදෙන්නේ "ඩ යන්නට මුලින් යෙදිය යුත්තේ මූර්ධජ ණ යන්නයි" යන රීතියට අනුවය. නමුත් 'මුහුණ' යන්නෙහි 'ණ' යෙදෙන්නේ මෙවැනි රීතියක් අනුව නොවේ. එය ඒ පදය සමගම යෙදෙන බව වෙනමම මතකයේ තබා ගත යුතුය.

අක්ෂර වින්‍යාස රීති වලට අදාළ යම් පරාසයක් ඇත. මෙවැනි රීති වලට හසු නොවන පද වර්ග ද තිබෙන බව පහත උදාහරණ වලින් පෙනෙයි. එනම්

1. කතා කරන සිංහල භාෂාවේ යෙදෙන ක්‍රියා පද
අරින්ඩ, කන්ඩ, බොන්ඩ, දෙන්ඩ, ලියන්ඩ, කියන්ඩ වැනි පද

2. වෙනත් භාෂා වලින් (ඉංග්‍රීසි, අරාබි, පෘතුගීසි, ලන්දේසි වැනි) සිංහලයට එකතු වූ තත්සම පද
කැලැන්ඩර්, සිලින්ඩර්, බ්‍රැන්ඩි, ඉරානය, කුරානය වැනි පද

'ණ' යන්න භාවිතයට අදාළ රීතිත්, ඒවායේ පරාසත්, රීති වලට හසු නොවන පද වර්ගත් ගැන කොටස් වශයෙන් ඉදිරි‍යේ දී පළ කෙරෙනු ඇත.

1 ප්‍රතිචාර:

අනූ said...

හරිම වටින ලිපියක්. මං හරි හරි දේවල් ගොඩක් ඉගෙනගත්තා. බොහොම ස්තූතියි.
සමහරු 'ණ' 'න' ,'ළ' 'ල' භේදයක් ඕනි නැති බව කියනව. ඒත් මං නං කියන්නේ ඒක සිංහල භාෂාවේ තියන ඉතාමත්ම වටිනා විශේෂිත දෙයක් කියල.