අක්ෂර හා අක්ෂරාණු

Friday 15 May 2009

සිංහල භාෂාවේ භාවිතා වෙන වචන හා ශබ්ද ලියා දැක්වීමට යොදා ගන්නා රූප දෙවර්ගයක් තියනවා. ඒ තමයි,

1. මූලාක්ෂර
2. අක්ෂරාණු

මූලාක්ෂර හා අක්ෂරාණු කියන්නෙ මොනවද කියල අපි සරල උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. මේ වාක්‍ය බලන්න.

‘අද නාට්‍ය නැහැ’

මෙහි ‘අද’ යන්නෙහි ‘අ’ යන රූපයත් ‘ද’ යන රූපයත් ආදී වශයෙන් ශබ්දය ලියා දැක්වීමට යෙදෙන රූප වලට තමයි ‘මූලාක්ෂර’ කියල කියන්නෙ. එතකොට අක්ෂරාණු කියල කියන්නෙ කිසියම් ශබ්දයක් කිසියම් නිශ්චිත පරිසරයක යෙදෙන විට ලියා දැක්වීම පිණිස යෙදෙන විකල්ප රූපයට. ඒ කියන්නෙ ‘ආ’ කියන ස්වර ශබ්දය පදයක මුල හැර වෙනත් තැනක යෙදෙන කොට එය ලියන්න යොදා ගන්නා ‘ා’ යන රූපයත්, ‘ය’ යන ව්‍යංජන ශබ්දය වෙනත් ව්‍යංජනයකට පසුව යෙදෙන කොට ලියා දක්වන ‘්‍ය’ යන රූපයත්, වැනි ඒවට. මේ මූලාක්ෂරත් වර්ග දෙකක් තියනවා.

1. ප්‍රාණාක්ෂර
2. ගාත්‍රාක්ෂර

‘ප්‍රාණාක්ෂර’ කියන්නෙ පදයක මුල යෙදෙන ස්වර ශබ්දයක් ලියන්න යොදා ගන්නා මූලාක්ෂර වලට. ‘ගාත්‍රාක්ෂර’ කියන්නෙ ව්‍යංජන ශබ්දයක් ලියන්න යොදා ගන්නා මූලාක්ෂර වලට.

අපි ඉහතින් කතා කළ අක්ෂරාණුත් වර්ග දෙකක් තියනවා. ඒ තමයි,

1. ස්වර පිලි
2. ව්‍යංජන පිලි

ස්වර පිලි කියන්නෙ ස්වර ශබ්දයක් ලියන්න යොදන අක්ෂරාණු වලට. ඒ කියන්නෙ ‘ඉ’ යන ස්වර ශබ්දය ලියා දක්වන්න යොදන ‘ි ’ පිල්ල ‘ස්වර පිල්ලක්’.

ව්‍යංජන පිලි කියන්නෙ ව්‍යංජන ශබ්දයක් ලියන්න යොදන අක්ෂරාණු වලට. උදාහරණයක් විදියට ගත්තොත් ‘ය’ යන ව්‍යංජන ශබ්දය ලියා දක්වන්න යොදන ‘්‍ය’ නම් පිල්ල ව්‍යංජන පිල්ලක්.

අපි මොන තරම් ස්වර පිලියි ව්‍යංජන පිලියි යොදා ගත්තත් හැමෝම ඒවාට කියන නම් දන්නෙ නැහැනෙ. දන්නෙ නැති අයට දැනගන්නත් එක්ක මම ඒවගෙ නම් ලියන්නම්.

(මට මෙතනදි නම් පොඩි ගැටළුවකට මූණ දෙන්න වුණා. සිංහල යුනිකෝඩ් වලින් අක්ෂරාණු විතරක් යතුරු ලියනය කරන්න බැහැනේ. ඒ නිසා මම මේ ටික පිංතූර විදියට තමයි යොදා ගත්තේ. සිංහල යුනිකෝඩ් වලින් අක්ෂරාණු විතරක් යතුරු ලියනය කරන්න බැරි වීම ගැන මේ දවස් වල සිංහල යුනිකෝඩ් සමූහයෙත් සංවාදයක් යනවා. මගේ අදහස නම් මේක දුර්වලතාවයක් නෙවෙයි , පහසුකමක් කියලයි. අක්ෂරාණු විතරක් යතුරු ලියනය කරන්න නිතරම ඕන වෙන්නෙ නැහැනේ. කලාතුරකින් හරි ඕන වුණොත් මේ වගේ පිංතූරයක් විදියට යොදන්න පුළුවන්)

ස්වර පිලි


ව්‍යංජන පිලි


ඊළඟ පාඩමින් රේඵය, යංශය සහ දකාරාංශය යෙදෙන විධියත්, යෙදෙන තැන් ගැනත්, නිවැරදිව ලියන ආකාරය ගැනත් කතා කරමු.

1 ප්‍රතිචාර:

aksh said...

good post..
learning sinhala again..