අපි සිංහල ඉගෙන ගනිමු.

Wednesday 13 May 2009

සිංහල බ්ලොග් අඩවි ආරම්භ කළ කාල‍යේ පටන් ඒ හා සම්බන්ධ වෙමින් බ්ලොග් කියවීම මගේ දෛනික පුරුද්දක් බවට පත් වෙලා තියෙන්නේ. නොයෙකුත් බ්ලොග් අඩවි කියවනකොට මට නිතරම පෙනෙන දෙයක් තමයි ඉන් 95% කටත් වඩා අක්ෂර වින්‍යාස දෝෂ සහිත ඒවා බව. 35%කට වඩා වැඩි ගණනක් බරපතල ලෙස අක්ෂර වින්‍යාස දෝෂ පෙන්වනවා. මේවා කියවනකොට මට නිතරම හිතුණු දෙයක් තමයි, නිවැරදි අක්ෂර වින්‍යාසය සහ සිංහල භාෂාවෙ රීතීන් ගැන දැනුවත් කරලා ‍බ්ලොග් එකක් පටන් ගන්න ඕන කියන එක. අදහස හිතේ තිබුණත් කාල‍ වේලාවේ ප්‍රශ්න නිසා දවසින් දවසම වැඩේ කල් ගියා. නමුත් දැන් බය වෙන්න දෙයක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට දිගටම බ්ලොග් එක ලියන්න.

සිංහල ඉගෙන ගන්න එක හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි. ගොඩක් වෙලාවට රීතීන් කිහිපයක් මත තමයි අක්ෂර වින්‍යාසය යෙදෙන ආකාරය තීරණය වෙන්නේ. ඒ නිසා හැම චවනයකටම එන්නෙ මොන 'න'යන්න ද, මොන 'ල'යන්න ද කියල එකින් එක මතක තියා ගන්න ඕන වෙන්නෙ නැහැ. රීති කිහිපය මතක නම්, ඉබේම නිවැරදි අකුරු යොදන්න පුරුදු වෙනවා. ඒ නිසා මම විශේෂයෙන් ම බලාපොරොත්තු වෙන්නේ සිංහල භාෂාවෙ තියන මේ රීති ගැන උදාහරණ එක්කම පැහැදිලි කරල දෙන්න.

සිංහල භාෂාව තුළ විවිධ මතභේද තිබෙන බව අපි කවුරුත් දන්නා සත්‍යයක්. ඒ කියන්නෙ තාම සිංහල භාෂාව තුළ අක්ෂර වින්‍යාසය හා ලේඛන ක්‍රම අතර පොදු සම්මතයක් නැහැ. විවිධ කණ්ඩායම් අතර සමහර කරුණු සම්බන්ධයෙන් මතභේද අදත් පවතිනවා. එනම් යම් කිසි වචනයක යෙදිය යුත්තේ දන්තජ 'ල' යන්න යැයි පිරිසක් කියද්දී, එහි‍ යෙදිය යුත්තේ මූර්ධජ 'ළ' යන්න බවට තවත් පිරිසක් තර්ක කරනවා. තම තමන්ගේ මතය නිවැරදි බව සනාථ කරන්නට ඒ ඒ පිරිස් විවිධ හේතු සාධකත් ගෙනහැර දක්වනවා.

මෙයට හොඳම උදාහරණයක් තමයි සිංහල භාෂාව හා වර්ගයා හැඳින්වීමට යොදන 'සිංහල' නම් නාමය. ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ නිර්මාතෘ වන පූජ්‍ය වැලිවිටියේ සෝරත නායක ස්වාමීන් වහන්සේ මෙය 'සිංහල' ලෙස දන්තජ 'ල' යන්න යොදා ලියති. රාජකීය ආසියාතික සමිතිය (Royal Asian Society) අනුග්‍රහය දැක්වූ 'සිංහළ' ශබ්දකෝෂයේ මුල් අවධි‍යේ දී සඳහන් කර ඇත්තේ 'සිංහළ' ලෙසින්. ‍(උසස් පෙළ සිංහල භාෂාව උගන්වන වැවතැන්නේ විජිතසිරි හාමුදුරුවෝ අදත් යොදා ගන්නේ සිංහළ ලෙසයි. උන්වහන්සේ තර්ක කරන්නේ සිංහල වචනය සැදී ඇත්තේ සිංහ+ළය යන පද දෙක එක් වී බවයි)

යම්කිසි වචනයක් සම්බන්ධයෙන් මෙවැනි මතභේදයක් ඇත්නම් අප ගත යුතු මග කුමක් ද? මාගේ අදහස නම් එවැනි විටෙක බහුතර සම්මතය පිළිපැදීම වඩා යෝග්‍ය බවයි. මෙම බ්ලොග් එක තුළ දී එවැනි මතභේදාත්මක වචන ගැන විශේෂයෙන් සඳහන් කර බහුතර සම්මතය කුමක්දැයි යන්නත් පහදා දීම බලාපොරොත්තු වෙනවා.

යම් කිසි භාෂාවක ලිවීම සඳහා ‍යොදා ගන්නා අක්ෂර මාලාව 'හෝඩිය' කියල තමයි හඳුන්වන්නෙ. මහාචාර්ය ජේ.බී.දිසානායක මහත්තය කියන විදියට නම් හෝඩියට තියන අකුරු ගණන අනුව සිංහල හෝඩියෙ ප්‍රභේද හයක් තියනවා.
1. සිදත් සඟරා හෝඩිය - අක්ෂර 30
2. අමිශ්‍ර සිංහල හෝඩිය - අක්ෂර 32
3. මිශ්‍ර සිංහල හෝඩිය - අක්ෂර 54
4. ජාතික අධ්‍යාපන ආයතන ‍හෝඩිය - අක්ෂර 60
5. සමකාලීන සිංහල ‍හෝඩිය - අක්ෂර 60
6. ජාත්‍යන්තර සිංහල හෝඩිය (යුනි‍කෝඩ්) - අක්ෂර 61

මගේ වෑයම පරිගණක භාවිතයේ දී හැකි තරම් නිවැරදි සිංහල භාවිතා කිරීමට බ්ලොග් ලියන්නන් උනන්දු කරවීම බැවින් මා සම්මතය ලෙස භාවිතා කරන්නේ ජාත්‍යන්තර සිංහල හෝඩියයි. මේකෙ තිර පිටපතක් මෙතනින් බලන්න පුළුවන්.

තවත් දෙයක් තියනවා.මේ බ්ලොග් එක ලියනකොට වරදින තැන් තියෙන්න පුළුවන්. මොකද මම කලිනුත් කිව්ව විදියට සිංහල භාෂාවට තාම සම්මතයක් නැහැනේ. ඒ වගේම සාමාන්‍ය මිනිස්සු විදියට අපිට වරදින වෙලාවල් තියනවා. එහෙම තැනක් දැක්කොත් අනිවාර්යයෙන්ම පෙන්නලා දෙන්න. ඔබ සියලු දෙනාගෙම උපදෙස් සහ අදහස් මම හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් බ්ලොග් අවතාශය තුළ කතිකාවක් ඇති කිරීමත් මගේ එක් අරමුණක්.

අක්ෂර සහ අක්ෂරාණු කියන්නෙ මොනවද කියල දැනගන්න නම් ඊළඟ ලිපිය බලන්න.

8 ප්‍රතිචාර:

think.......... said...

නියමයි. ගොඩක් කාලෙක ඉඳලා බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්. එහෙනම් අපි සිංහල ඉගෙන ගනිමුකෝ.

Kumara said...

පහු වෙලා හරි මෙහෙම දෙයක් පටන් ගත්ත එක හොදයි. දිගටම ලියන්න.

෴ .:GiniMakara :.෴ said...

ගොඩක් වැදගත් මාතෘකාවක් දිගටම අපව දැනුවත් කරන්න.

Narada said...

පරක්කුවෙලා හෝ මෙවැන්නක් ආරම්භ කිරිම වැදගත්. මෙවැනි දෙයක් කාලීනව අවශ්‍යතාවයක් වෙලා තිබ්බේ, පසුගිය කාලවලදී මේ අක්ෂර ඇතැමක් භාවිතා කිරිම නොකිරිම ගැන අර්බුදයක් තිබ්බා.

තවකක්, බිලොග් අවකාශයේදි ඇතැම් අය "ැ" වෙනුවට "ෑ" යන්නද "රු" යන්න යෙදුය යුතු තැන් වලදී "රැ" කිවා යෙදෙනවා. ඒ නොදැනුවත්ව හෝ යතුරැ කිරිමේදි තිබෙන වැරදි නිසයි. (මාත් මේ "රැ" වැරද්දේ හිටි කෙනෙක් නෙව).

අනූ said...

යුනිකේතයෙන් කොහොමද සඤ්ඤක ද යන්න ඇතුල් කරන්නේ? මට මේක හරි ප්‍රශ්ණයක්.

යූත්මැක්ස් said...

යතුරු පුවරුවේ දකුණු Alt යතුර ඔබාගෙන අවශ්‍ය අකුර ඔබන්න.

අනූ said...

ම්හ්.. හරි ගියේ නෑ. Alt එකත් එක්ක හරි යන්නෑ වගේ. දන්න වෙනිං කෙනෙක් හරි ඉන්නව නං කියන්න. දැනට මං පාවිච්චි කරන්නේ 'ද' යන්න. ඒක හරි වැරදියි.

යූත්මැක්ස් said...

ඔයා ටයිප් කරනකොට දකුණු පැත්තෙ තියන ඕල්ටර් යතුර ඔබාගෙන ටයිප් කරන්න. ඒක හරියනවා. මේක වම් ඕල්ටර් යතුරට හරි යන්නෙ නැහැ. මේ බලන්න. ඳ ඟ ඬ