කුරුණෑගලින් දඹ රන් පිළිම මතුවේ.

Sunday 14 March 2010




අද (2010-03-14) කුරුණෑගල ගොකරැල්ල ප‍්‍රදේශයේ දී විකිණීමට සූදානම් කරන ලද, මෙරට මිල කළ නොහැකි වටිනාකමකින් යුත් පෞරාණික බුද්ධ ප‍්‍රතිමා තොගයක් කුරුණෑගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල කොට්ඨාස භාර ජෙ.පො. අධිකාරී වාස් ගුණවර්ධන මහතාට ලද තොරතුරක් මත, අද අළුයම 5.00 ට පමණ කුරුණෑගල මූ.පො.ප. අජිත් වංශනාත මහතාගේ අධීක්ෂණය යටතේ, පො.ප. රුවන් රණසිංහ, පො.ප. ඉංද්‍රජිත් දිසානායක ඇතුළු පොලිස් කණ්ඩායමක් වහාම ක‍්‍රියාත්මක වී අදාළ ස්ථානයට ගොස් ඇති අතර, සැකකරුවන් ඒ වන විටත් පලාගොස් සිටි බවත්, එහි තිබී පිළිම 06ක් හා රත‍්‍රං පරීක්ෂාවට ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලීසිය පවසයි.

විශාල ප‍්‍රමාණයේ කිරිගරුඩ පිළිම 02ක්, කි.ගැ. 50ක් පමණ බරැති දඹරං පිළිමයක්, ඉතා දුර්ලභ මැණික් ඔබ්බන ලද දඹරං නේත‍්‍රා පිළිමයක්, මැණික් ඔබ්බන ලද කුමාර පිළිමයක් හා තඹ පිළිමයක් ඒ අතර, තිබූ අතර පිළිම වල වටිනාකම මෙතෙක් ගණනය කර නොමැත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පවසන කුරුණෑගල පොලීසිය, පරීක්ෂණ අවසන් කර නොබෝ දිනකින් මෙම පිළිම මහජන ගෞරවය සඳහා විවෘත කරන බවද වැඩිදුර අදහස් දැක්වූ ජේ.පො.අ. වාස් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

0 ප්‍රතිචාර: